– රැල්ෆ් එමර්සන්-
ඕනෑම මිතුරෙක්, මිතුරෙක් වීමට පෙර අවසාන මොහොත දක්වාම අමුත්තෙක්. චාමක කියන්නේ අන්න එහෙම අමුත්තෙක් විදියට තිබ්බ සීමා ඉර පහුකරන් ආපු මිතුරෙක්.
“අපට දුර්ලභ බුද්ධියක් ඇති මිනිසෙක් හමුවුවහොත්, ඔහු කියවන පොත් මොනවාදැයි ඔහුගෙන් විමසිය යුතුයි.”
– රැල්ෆ් එමර්සන්-

චාමක වීරසිංහ කියන්නේ අපේ ඉස්කෝලේ සිංහල සර්. ප්‍රේමය, කලාව, සාහිත්‍යය ගැන දවසම උනත් කතාකරන්න පුළුවන් මතවාදී පිරිමියෙක්.
අඹ පේර ලේනුන්ට
හඳ අයිති හාවුන්ට
ඇළ දොළත් මාළුන්ට
කතන්දර කාවොන්ට
රේස් එක පොඩි අයට
ඒ සතුට ලොකු අයට
ජීවිතේ අන් තැනක
හොඳම දේ ළමයින්ට
-එලීසියම-
කල්පනා ඇම්බ්‍රොස්ගේ එලීසියම මට ගෙනත් දුන්නේ ඔන්න ඔය චාමක.
මේ ලෝකයේ එකම මනුස්සයෙක් තුළ නිර්මිත ලෝක දෙකක් තියෙනවා. ඒ,
මා අයිති ලෝකය සහ මට අයිති ලෝකය. අධ්‍යාපනය කියන්නේ මා අයිති ලෝකයේ ඉඳන් මට අයිති ලෝකය කරා යන ගමනක්. ඒ ගමනේ අවසානය තමයි මට අයිති ලෝකයේ පංගුව නීර්ණය කිරීම.
මේ පංගුව වෙනුවෙන් පොර බැදීම හරිම වෙහෙසකරයි. විශේෂයෙන් පොඩි දරුවන්ට.
හරිනි අමරසූරිය හරි ලස්සන කතාවක් කියනවා.
ඒ ” අට ශ්‍රේණිය දක්වා දරුවන්ට විභාග නැහැ” කියලා.
තරඟය තුල දරුවන්ට අහිමි වෙලා තියෙන්නේ සංකල්ප. ඇත්තටම මේ අධ්‍යාපනය තුළ දුවලා පොඩි උන්ට හති.
කියවන්නම ඕන කවියක් තියෙනවා, සමන්ත හේරත් ලියපු.
මැදියම ගෙවෙද්දී පාඩම් මේසේ ළග
කවුලුව දිගේ ගැලුවා සද වතුර ගග
ගග දිග පැමිණි කවුරුන් හෝ මිදුල ළග
දුටුවෙමි නතර වී නටමින් සිටින වග
තනියම හදේ ඉන්නට කම්මැලි හිතිලා
හාවා ඇවිත් තනියම පහළට බැහැලා
පාඩම් කරපු පොත ඩිංගිත්තික් වහලා
ඇහුවෙමි එහේ විස්තර මොනවද කියලා
මුලු ආකාසෙටම මම විතරයි ඉන්නේ
තනියම නිසයි ඉදහිට ඇවිදින් යන්නේ
සෙල්ලම් කරන්නට නෑ කිසිවෙක් එන්නේ
තනියම තමයි මම මෙහෙ ආවත් ඉන්නේ
පැන පැන ඇවිත් හාවා කවුලුව ළගට
ඇහුවා යන්න කැමතිද කියලා හදට
දරුවෝ අමතක ද ශිෂ්‍යත්වය උඹට
අම්මා වසා දැම්මා කවුලුව තදට
මුහුදේ කිසිම දිනෙක නාපු නැති දරුවෝ ඉන්නවා. මේක දිවයිනක්. පිටරට සුද්දෝ ලංකාවට එන්නේ මුහුදේ නාන්න. හැබැයි අපේ රටේ දරුවෝ මුහුදේ නාලා නෑ.
හරකෙක් කිසිම දිනෙක අල්ලපු නැති දරුවෝ ඕන තරම් ඉන්නවා. බල්ලෙක්, පූසෙක් එක්ක හුරතල් නොවිච්ච දරුවෝ ඕන තරම් මේ පොළවේ ඕන තරම් ඉන්නවා.
විභාග පාස් වෙන්න ඕන. හැබැයි වැඩිහිටියෝ විදියට අපි මතක තබා ගතයුතුම දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද?
ළමා කාලය යනු නැවත තිරගත නොවන චිත්‍රපටියකි.
