ධනිය ගෝපාලට වැස්ස ආශ්වාදයක් උනාට හුඟක් මිනිස්සුන්ට වැස්ස කියන්නේ කරුමයක්.

ධනිය ගෝපාලට වැස්ස ආශ්වාදයක් උනාට හුඟක් මිනිස්සුන්ට වැස්ස කියන්නේ කරුමයක්.

ධනිය ගෝපාල තොප

කුරිරු ධනවාදියෙකි

කන්ද උඩ මාලිගේ සිටි ඔබට

කන්ද යට අපේ පැල නොපෙනේ ය.

අම්මා තව ආවෙ නැහැ

ගස් කපනව කිරි කට්ටියේ

උදේ රැයින් තාත්තා ගියෙ

කුලී වැඩක් සොයා ගන්ට

දොළ ගැලුවොත් හෙට උදේට කොහොමද

ඉස්කෝලෙ යන්නේ

ගස් තෙමුණොත් නම වැටෙන්නෙ නෑ

අම්මට හෙට දිනේට

පුංචි පැලේ මං තනි වුණු වෙලාවේ

පමා වෙලා වැහැපන් වැහි වලාවේ

– පරාක්‍රම කොඩිතුවක්කු –

බුද්ධ කාලයේ ධනිය ගෝපාල හිටිය කන්ද උඩ මාලිගාවේ රැකවරණය තිබ්බා. කෑම තිබ්බා. රූමත් බිරිදක් හිටියා. අවසානයේ ධනිය ගෝපාල ආරාධනා කරනවා මේඝයට වැහැපන් කියලා.

(වැස්ස ඇතුලේ තියන ජිවිත දර්ශනය තේරුම් ගන්න නම් බුදු හාමුදුරුවොත්, ධනිය ගෝපාලත් අතර සංවාදය කියවන්නම ඕන.)

ඔය කොහොම උනත් මේ මොහොතේ මුළු ලංකාවට ම වහිනවා. අම්පාර කාර්තිව් වල පාසල් දරුවන් තුන් දෙනෙක් තවමත් සොයාගෙන නෑ. ඒ අතරේ උසස් පෙළ විභාගය කල් යනවා. ඒ වගේම තමයි හැම ගංගාවක්ම පිටාර ගැලීමේ අවසාන මොහොතට ලඟා වෙලා තියෙන්නේ.

වායුගෝලයේ ඝනීභවනය වූ ජල වාෂ්ප ගුරුත්වය යටතේ පොළවට කඩා වැටීම කියන විද්‍යාත්මක කාරණාවෙන් එහාට ගියාම වැස්ස තුළ තියෙනවා මහා පන්ති විෂමතාවයක්.

මේ පොළව මත ම එක මනුස්සයෙක් වැස්ස වේලාවට වාහනයක සිංදුවක් අහ අහ යනකොට තවත් මනුස්සයෙක් වැස්ස පායන තුරු ගහක් යටට, කඩපිලක ඉදන් බලාගෙන ඉන්නවා.

බලන් ගියාම වැස්ස තමයි ඇති – නැති පරතරය මේ පොළව මත නිරූපිත හොද ම සාධකය.

මට නම් අවසානයට හිතෙන්නේ වැස්ස කියන්නේ බලාපොරොත්තුවට කියන තවත් නමක් කියලා.

පායන කොට

වහිනකම් බලාගෙන

ඉන්න මිනිස්සු

වහිනකොට

පායනකම් බලාගෙන

ඉන්නවා.

– වින්සර සමරසිංහ –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top